ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) සිය සියලුම ප්‍රතීතන ක්‍රමවේදයන්, පරිපාලන සහ ගිණුම් පද්ධති ඩිජිටල්කරණය කිරීම නිල වශයෙන් ආරම්භ කර තිබේ. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති විශේෂ උත්සවයකදී මෙම නව පද්ධතිය විවෘත කෙරිණි.
මෙයට සමගාමීව ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව නවීකරණය කරන ලද ප්‍රතීතන මණ්ඩලයේ නිල වෙබ් අඩවියද දියත් කෙරුණු අතර, එමගින් පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම හා ආරක්ෂිතව අන්තර්ජාලය හරහා සේවා ලබා ගැනීමට අවස්ථාව උදාවේ. මෙම නවෝත්පාදනය ආසියා පැසිෆික් ප්‍රතීතන සහයෝගීතාවේ (APAC) අනුග්‍රහය ඇතිව පැවති විශේෂ ධාරිතා වර්ධන වැඩසටහනකට සමගාමීව සිදු කෙරිණි.
ශ්‍රී ලංකාව සම්බන්ධ තවත් විශේෂ ජයග්‍රහණයක් ලෙස, සෑම වසරකම ජූනි 09 වැනිදා ‘එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රතීතන දිනය’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනාවට අනුග්‍රහය දක්වන රටවල් පහෙන් එකක් ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා ලැබී ඇත. ඔස්ට්‍රේලියාව, පැනමාව, ටියුනීසියාව සහ ඉතාලිය සමඟ එක්ව ශ්‍රී ලංකාව මෙම ගෝලීය වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙනු ඇත.
ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතන ක්‍රමවේදයන් පවත්වාගෙන යාම මගින් ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවාවන්ට ගෝලීය වෙළෙඳපොළ තුළ ඉහළ පිළිගැනීමක් සහ විශ්වාසයක් දිනා ගැනීමට හැකි වන අතර, ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමටත් මෙය මහඟු පිටුබලයක් වනු ඇත.














