ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (WBSC) 60 වැනි සංවත්සර සැමරුම් උත්සවය ලබන නොවැම්බර් 28 වැනි දින සිට දෙසැම්බර් 2 වැනි දින දක්වා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය 5,000කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය.
එමෙන්ම ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවකින් භික්ෂු-භික්ෂුණීන් වහන්සේ සහ ගිහි නියෝජිතයන් 600කට අධික පිරිසක් සහභාගී වීමට අපේක්ෂිතය.
මෙම සාකච්ඡාව සඳහා ලෝක බෞද්ධ සංඝ සම්මේලන සංවත්සර සංවිධායක කමිටුවේ සභාපති ආචාර්ය සාහිත්‍යසූරී බෝදාගම චන්දිම හිමි, ප්‍රධාන ලේකම් මාඉටිපේ විමලසාර හිමි ඇතුළු මහා සංඝරත්නය සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














