රජය විසින් පනවා ඇති අතිරේක බදු ප්‍රතිශතය එළඹෙන අගෝස්තු 15 වැනි දින ඉවත් කරනු ලැබුවහොත්, ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ වාහන මිල ගණන් පහළ යා හැකි බව ලංකා මෝටර් රථ අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. කෙසේ වෙතත්, අගෝස්තු 15 වැනිදායින් පසු එම බදු ප්‍රතිශතය රජය විසින් එලෙසම පවත්වාගෙන යනු ලැබුවහොත්, වාහන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පෙන්වා දෙයි.
වාහන වෙළෙඳපොළේ වත්මන් තත්ත්වය සහ දත්ත විශ්ලේෂණය කිරීමේදී කරුණු කිහිපයක් කැපී පෙනේ. පසුගිය පෙබරවාරි මාසයේදී වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ විශාල ඉල්ලුමක් නිර්මාණය වූ අතර, මේ වන විට එම ඉල්ලුම සාමාන්‍ය මට්ටමකට පත්ව ඇත. වාහන ආනයනය සාමාන්‍ය පරිදි සිදු වූ 2019 වසරේ දත්ත සමඟ වත්මන් දත්ත සැසඳීම වඩාත් නිවැරදි බව සභාපතිවරයා පවසයි.
රේගු වාර්තාවලට අනුව, දිනකට වාහන නිදහස් කර ගැනීම සඳහා ඉදිරිපත් වන රේගු ප්‍රකාශන සංඛ්‍යාව මීට පෙර පැවති 800-850ත් අතර මට්ටමේ සිට මේ වන විට 300-350 දක්වා සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව, මෙම වසරේ මුල් මාස පහ තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1070ක් වටිනා වාහන ආනයනය කර ඇති අතර, ඉකුත් අප්‍රේල් සහ මැයි මාසවල පැනවූ බදු සංශෝධන හේතුවෙන් වාහන ආනයන පිරිවැය 20%කින් පමණ ඉහළ ගොස් ඇත. රජය මෙම මාසය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 180ක පමණ වාහන ප්‍රමාණයක් ආනයනය කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, 2019 වසරේ මෙරටට ආනයනය කළ මුළු වාහනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1400ක් ලෙස වාර්තා වේ.
















