ඉදිරි අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ශ්‍රී ලංකාවට අතිප්‍රබල එල්නිනෝ (El Niño) තත්ත්වයක් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එවැනි තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාව 81%ක ඉහළ අගයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පෙන්වා දෙයි. මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.
එහි බලපෑම උතුරු සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවලට දැනටමත් දැනෙමින් පවතින අතර, අගෝස්තු මාසයේදී දිවයිනේ අවම සහ උපරිම යන උෂ්ණත්වයන් දෙකම ඉහළ යා හැකි බව වාර්තා වේ. මෙම හේතුවෙන් දහවල් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීත් ජනතාවට අධික රස්නය සහ අපහසුතා ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
පවතින වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හමුවේ අනුරාධපුර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ලැව්ගිනි ඇති වීමේ දැඩි අවදානමක් පවතී. දැනටමත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වනාන්තර ගිනි ගැනීම් වාර්තා වී ඇති බැවින්, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















