විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර, එම යෝජනාව 2027 අයවැයට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේදී පැවැති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ 2026 අයවැය ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදීය. රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක ඇති වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ අතර, ඒ සඳහා පවතින නීතිමය සහ පරිපාලනමය බාධක කඩිනමින් ඉවත් කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දී ඇත.
මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ තවත් කරුණු කිහිපයක් පහත දැක්වේ. සංචාරක සංවර්ධන ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මුදල් සංචිත වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. සීගිරිය, ගලේවෙල සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගත් සංවර්ධන ව්‍යාපෘති, සංචාරක අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් අවම කිරීම සඳහා ලබන වසරේ ජනවාරි මුල් සතියේ සිටම ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළ හැකි වන පරිදි මුදල් අමාත්‍යාංශය හඳුන්වා දී ඇති නව සැලැස්ම අනුගමනය කිරීමට උපදෙස් ලබා දී ඇත. කොන්සියුලර් සේවා තවදුරටත් ඩිජිටල්කරණය කිරීම සහ සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය මානව සම්පත 2030 වන විට ලක්ෂ 8ක් දක්වා ඉහළ නැංවීමට හෝටල් පාසල් පුහුණු වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















