ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) සහතික ලාංඡනය නොමැතිව දේශීයව නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවි කිරීම 2026 ඔක්තෝබර් 8 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වගන්තිය යටතේ මෙම විශේෂ විධානය නිකුත් කර ඇත.
මෙම නව නියෝගය ප්‍රධාන වශයෙන් එක්වරක් පමණක් භාවිත කරනු ලබන සනීපාරක්ෂක තුවා (SLS 1732) සහ එක්වරක් පමණක් භාවිත කරන සිහින් සනීපාරක්ෂක තුවා (SLS 1748) සඳහා අදාළ වේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරනු ලබන SLS භාණ්ඩ සහතික ලාංඡනය දරන්නේ නම් පමණක් එම නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට නිෂ්පාදකයන්ට අවසර හිමි වේ.
එමෙන්ම, මෙරටට ආනයනය කරනු ලබන සනීපාරක්ෂක තුවා ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආනයන ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ පරීක්ෂා කර අනුමත කර නොමැති නම්, ඒවා ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම ද සපුරා තහනම් වේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අදාළ ප්‍රමිතීන්ට ඉදිරියේදී සිදු කරනු ලබන සියලුම සංශෝධන සඳහා ද මෙම නියෝගය අඛණ්ඩව බලපැවැත්වේ.














