වෙළෙඳපොළේ ඇති සබන් වර්ග ආනයනය කිරීම, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම හෝ විකිණීමේදී අනුගමනය කළ යුතු නව නීති මාලාවක් ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම නියෝගය, සියලුම නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් සහ වෙළෙඳුන් වෙත අදාළ වේ.
නව විධානයට අනුව, සබන් නිෂ්පාදනයේ නාමය ඝන අකුරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම හෝ එම භාෂා අතුරින් භාෂා දෙකක් ප්‍රධාන රාමුව මතද, අනෙක් භාෂාව වෙනත් ඕනෑම රාමුවකද පැහැදිලිව සටහන් කළ යුතුය. මීට අමතරව, නිෂ්පාදනයේ අඩංගු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය (Total Fatty Matter – TFM) ප්‍රතිශතයක් (%) ලෙස, මිලිමීටර් 2කට නොඅඩු ඝන අකුරින් ඇසුරුම මත මුද්‍රණය කිරීම ද අනිවාර්ය කර ඇත.
මෙම රෙගුලාසි ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, ෂේවීන් සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් යන සියලුම වර්ග සඳහා අදාළ වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතාගේ නිර්දේශ පරිදි, මෙම නව විධිවිධාන 2027 වර්ෂයේ ජූලි මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වේ.














