විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර, එය 2027 අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී මෙම තීරණ ගෙන ඇත.
මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වූ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:
විදෙස්ගත ශ්‍රමිකයන් රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම පාර්ශ්වයක් වන බැවින් ඔවුන් වෙනුවෙන් විධිමත් විශ්‍රාම වැටුප් ක්රමයක අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සංචාරක ක්ෂේත්රය වෙනුවෙන් 2030 වන විට ලක්ෂ 8ක මානව සම්පතක් අවශ්‍ය බව හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා හෝටල් පාසල් මගින් ක්‍රියාත්මක පුහුණු පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමට තීරණය කෙරිණි. එසේම සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති සම්පත් සහ ඉඩම් පිළිබඳ විධිමත් වාර්තාවක් නොමැති වීම පිළිබඳව අවධානය යොමු වූ අතර, එම වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස උපදෙස් දුන්නේය.
සංචාරක ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන කෙළින්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මුදල් සංචිතයට යොමු කරන ලෙස ජනාධිපතිවරයා නියම කළේය. තවද සීගිරිය, ගලේවෙල සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගත් සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන වෙනම කටයුතු නොකර, සංචාරක අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව එක් පොදු සැලැස්මක් යටතේ කටයුතු කිරීමෙන් කාලය සහ ශ්‍රමය ඉතිරි කරගත හැකි බව පෙන්වා දුන්නේය.
ව්‍යාපෘති ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් අවම කිරීම සඳහා ලබන වසරේ ජනවාරි මුල් සතියේ සිට ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළ හැකි පරිදි මුදල් අමාත්‍යාංශය හඳුන්වා දී ඇති නව සැලැස්ම අනුගමනය කරන ලෙස උපදෙස් ලබාදෙන ලදී.
කොන්සියුලර් සේවා කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල් අමාත්‍යාංශය සමග එක්ව වැඩසටහන් සකස් කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.














