නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැය මගින් වෙන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2026 ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම කරුණු පැවසීය.
මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු:
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා 2027 සිට 2031 දක්වා කාලය තුළ රුපියල් බිලියන 382ක ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ යටතේ යෝජිත ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියට විශේෂ අවධානය යොමු කෙරිණි.
රජය යටතේ ක්‍රියාත්මක වෘත්තීය පුහුණු ආයතන 310 සඳහා පසුගිය කාර්තු දෙක තුළ සිසුන් 57,959ක් බඳවාගෙන ඇති අතර, වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමටත්, සාගර විශ්වවිද්‍යාලයට ස්ථිර භූමියක් ලබා දීමටත් කටයුතු යෝජනා විය. එසේම යුනිවර්සිටි කොලේජ්වල ගුණාත්මකභාවය ඉහළ නංවමින් කලාපීය මට්ටමින් සිසුන්ට තාක්ෂණික උපාධි හා ඩිප්ලෝමා ලබාගැනීමේ පහසුකම් සැලසීම පිළිබඳව සාකච්ඡා විය.
ගුරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය මෙන්ම වැටුප් විෂමතා සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව ඒකාබද්ධව සාකච්ඡා කර විශේෂ කොමිෂන් සභාව හරහා ස්ථිර විසඳුම් ලබා දීමට එකඟතාව පළ විය. 2026 සිට විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ ආධාර මුදල් වැඩි කිරීමට සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශිෂ්‍ය ගුරුවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට ද තීරණය කෙරිණි.
විදේශ ආධාර මත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවා හුදු ණය බරක් කර නොගෙන, මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තීන්ට අනුකූලව අවශ්‍යතා මත පමණක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ පාසල් 20ක් සහ විද්‍යාපීඨ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 1.9ක් වෙන් කර වැඩ ආරම්භ කර ඇති බවද මෙහිදී අනාවරණය විය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.














