පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ ‘පැරකුම් ලෙගසි’ සංවර්ධන ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කෙරිණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ ඇතුමල් වැව ආශ්‍රිතව කයැකින් පහසුකම්, පාරම්පරික බෝට්ටු සවාරි, වනජීවී නැරඹීම සඳහා පහසුකම්, අත්කම් නිර්මාණ ගම්මානයක්, වෙළෙඳ කුටි සහ දේශීය හා විදේශීය ආහාර රසවිඳීමේ මධ්‍යස්ථාන ඇතුළු සංචාරක පහසුකම් රැසක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ හරහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම, ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක ගම්මාන වැඩසටහන් මාලාවේ පළමු අදියර ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, ‘ප්‍රජා ශක්ති’ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 618ක් මෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා විශේෂයෙන් රුපියල් මිලියන 100ක් වෙන් කර තිබේ.














