වාරි ජලාශවල ජල මට්ටම පහළ යමින් පවතින නිසා ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ (ආපදා හා ජල කළමනාකරණ) එල්. එස්. සූරියබණ්ඩාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජලාශවල ජල මට්ටම සියයට 44ත් 45ත් අතර මට්ටමක පවතින බවත්, ඔක්තෝබර් මාසය වනවිට මහ කන්නයේ වගාවන් සඳහා ජලය ලබාදීමට නියමිතව තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. නිරිත දිග මෝසමට අදාළව එම ප්‍රදේශවලට වෙනත් වර්ෂවල මෙන් මෙවර ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබී නැති අතර, ඇතැම් ප්‍රදේශවලට වැටී ඇත්තේ මිලිමීටර් 10ක් 15ක් වැනි අගයකි.
එල්නිනෝ තත්ත්වය හමුවේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බවට පුරෝකථනය කර ඇතත්, එසේ වර්ෂාව නොලැබී ගියහොත් පවතින ජලය කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බවද සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















