ලකීලෑන්ඩ් ගොම්මලිකන්ද ප්‍රදේශයේ පෙයාස් අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී තිබුණද, එම අස්වනු සඳහා නිසි මිලක් නොමැතිකම හේතුවෙන් තමන් දැඩි ලෙස අසරණ වී ඇතැයි එම ප්‍රදේශයේ පෙයාස් වගਾකරුවෝ පවසති. ඌව පරණගම ලකීලෑන්ඩ්, ගොම්මලිකන්ද ප්‍රදේශයේ පෙයාස් වගාව සඳහා උචිත දේශගුණයක් පවතින බැවින් බොහෝ දෙනෙක් අතුරු භෝගයක් ලෙස මෙම වගාවේ නිරත වෙති.
වසර 20ක පමණ කාලයක සිට මෙම වගාවේ නිරත වන ඩබ්ලිව්. ඒ. සංඝදාස මහතා සඳහන් කළේ දේශීය පෙයාස් කිලෝවක් තොග වශයෙන් රුපියල් 600කට සහ බද්ධ පෙයාස් කිලෝවක් රුපියල් 800කට පමණ අලෙවි වන බවත්, වර්ෂයකට එක් වරක් පමණක් අස්වනු ලැබෙන බැවින් මෙම මුදල ජීවන වියදම් පියවා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්ය. පසුගිය කාලයේ පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මල් බිම වැටී මෙවර අස්වැන්නද අඩුවී ඇති බැවින්, සාධාරණ මිලක් ලබා ගැනීමට රජය මැදිහත් වී වැඩපිළිවෙළක් සකසන ලෙස ගොවීහු ඉල්සා සිටිති.
තවත් පෙයාස් වගාකරුවකු වන රංජිත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ තමන්ගෙන් අඩු මුදලකට මිලදී ගන්නා පෙයාස් කිලෝවක් පාරිභෝගිකයා අතට පත්වන විට රුපියල් 2000කට ආසන්න වන බවයි. නගරයේ විකිණීමට ස්ථිර ස්ථානයක් නොමැති වීම නිසා තමන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටින බව පෙන්වා දුන් ඒ මහතා, දේශීය පෙයාස් සඳහා නව උසස් ප්‍රභේද හඳුන්වා දීමට සහ වෙළෙඳපොළ ඉල්ලුම වැඩි කිරීමට කෘෂිකර්ම බලධාරීන් කඩිනමින් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
















