ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) පාලන රාමුවක් නිර්මාණය කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට සමාන අවස්ථා ලබා දිය යුතු බව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා චීනයේ ෂැංහයි නුවර පැවති 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව (WAIC) අමතමින් ප්‍රකාශ කළේය.
“හවුල් අනාගතයක් සඳහා හවුල්කාරිත්වයන්” යන තේමාව යටතේ ප්‍රධාන දේශනයක් පවත්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, ගෝලීය AI පාලනයට දකුණු අර්ධගෝලයේ ජාතීන් තීරණ ගැනීමේ මේසය වෙත ගෙන ඒම අත්‍යවශ්‍ය වන බවත්, තීරණ ගැනීමෙන් පසු ඒවා දැනුම් දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්ය.
“සැබෑ ගැටළුව වන්නේ සමාජය වෙනස් වේද යන්න නොව, එහි ප්රතිලාභ සාධාරණ ලෙස බෙදී යන්නේද යන්නයි” යැයි ඔහු පෙන්වා දුන්නේය.
DIGIECON 2030 වැඩසටහන හරහා ශ්‍රී ලංකාව ශක්තිමත් ඩිජිටල් පදනමක් ගොඩනැගීමේදී ලබා ඇති ප්‍රගතිය සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් අනන්‍යතා (SLUDI) වේදිකාව ස්ථාපිත කිරීම සහ පර්යේෂණ, ආචාරධර්ම සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික AI ආයතනයක් පිහිටුවීමේ සැලසුම් ද මෙහිදී අනාවරණය කළේය. තාක්ෂණික ප්රගතියෙන් පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ ජීවිත වැඩිදියුණු වන ආකාරයෙන් AI හි සාර්ථකත්වය මැනිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















