ආණමඩුව නගරයට ආසන්න පරමාකන්ද මංසන්දිය අසලදී ලංගම බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ දාරුණ අනතුරකින් යුද හමුදා කොප්‍රල්වරයකු එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව, ඌරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දුමින්ද සඳරුවන් වික්‍රමආරච්චි නැමැති දෙදරු පියෙකි. මියගිය නිලධාරියා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවැති දීර්ඝ හමුදා පුහුණුවකින් පසු ඉකුත් 19 වැනිදා නිවසට පැමිණ ඇති අතර, අද (20) දින යළි සේවය සඳහා වාර්තා කිරීමට නියමිතව තිබිණි. අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු තම දියණියන් දෙදෙනා පාසලට ඇරලවා ආපසු ඌරියාව බලා යමින් සිට ඇත.පුත්තලම දෙස සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ පුත්තලම ඩිපෝවට අයත් ලංගම බස් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, බස් රථය යතුරුපැදිකරුද යටකරගෙන මීටර 100කට ආසන්න දුරක් ඇදී ගොස් තිබේ. පොලිසිය පවසන පරිදි අනතුර සිදුවූ පරමාකන්ද මංසන්දිය අවට මීටර 100ක සීමාව නිරන්තරයෙන් මාරක රිය අනතුරු සිදුවන අධි අවදානම් කලාපයකි.
















