කථානායකවරයාට එරෙහිව මාධ්‍ය මඟින් නැඟූ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් සකස් කරන ලද විමර්ශන වාර්තාව මඟින් ඔහුට එරෙහි දූෂණ චෝදනා දහයක් (10) සාක්ෂි සහිතව තහවුරු වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
එම වාර්තාවට අනුව, කථානායක නිල නිවසට අමතරව තවත් රජයේ නිල නිවසක් භාවිත කිරීම, පදිංචි නොවී කාර්ය මණ්ඩලයට මාසිකව රුපියල් 760,000ක වැටුප් ගෙවීම, විශ්‍රාමිකයින් දෙදෙනෙකු පත් කිරීම, කැබිනට් අනුමැතියකින් තොරව නිල නිවස පර්යේෂණ මධ්‍යස්ථානයක් කිරීමට තීරණය කිරීම සහ පෞද්ගලික ලේකම්වරයාටද නිල නිවසක් වෙන් කරවා ගැනීම ඇතුළු චෝදනා රාශියක් මතු කර තිබේ.මීට අමතරව නිල නිවසේ ලොන්ඩරි වියදම් මහජන මුදලින් දැරීම, නොමැති මාධ්‍ය අංශයක් සඳහා වෑන් රථයක් සහ කැමරා වෙන් කරවා ගැනීම මෙන්ම ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම වැනි කරුණුද මෙම වාර්තාවෙන් අනාවරණය වී ඇති බව හෙළි විය. ඉදිරි සතියේදී මෙම වාර්තාව අල්ලස් කොමිසමට භාර දීමට කටයුතු කරන බවත්, පොදු දේපළ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














