කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (20) දිනයේදී අවසන් වූයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 197.31කින් සහ S&P SL20 දර්ශකය ඒකක 56.46කින් පහළ දමමිනි. ඒ අනුව දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,208.10ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 5,943.22ක් ලෙසත් සටහන් විය. මෙම කාලසීමාව තුළ සමාගම් 179ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබීම දර්ශකවල පසුබෑමට ප්රධාන වශයෙන් හේතු විය.
දවසේ ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 2.63ක් ලෙස වාර්තා වූ අතර එය පසුගිය දිනවල පැවති මන්දගාමී තත්ත්වයට සාපේක්ෂව ඉහළ අගයකි. සී.ටී. හෝල්ඩිංග්ස් රුපියල් මිලියන 561ක්, කාගිල්ස් (සිලෝන්) රුපියල් මිලියන 544.95ක් සහ ලංකා මිල්ක් ෆුඩ්ස් රුපියල් මිලියන 232ක් ලෙස වාර්තා වූ ගිවිසා ගනු ලැබූ ගනුදෙනු හේතුවෙන් මෙම දෛනික පිරිවැටුම ඉහළ ගියේය.
ඩයලොග් ආසියාටා, කොමර්ෂල් බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ කාර්සන් කම්බර්බැච් යන සමාගම්වල කොටස් මිල පහළ යාම දර්ශකවල කඩාවැටීමට ප්රබල ලෙස බලපෑවේය. පසුගිය ජූලි 17 වන දින වාර්තා වූ රුපියල් මිලියන 722ක පිරිවැටුම පසුගිය මාස 15ක කාලපරිච්ජේදය තුළ වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම වූ අතර, අද දිනයේ පිරිවැටුම ඉහළ යාම කොටස් වෙළෙඳපොළෙහි කැපීපෙනෙන සිදුවීමක් ලෙස නිරීක්ෂණය කෙරේ.
















