දිට්වා සුළි කුණාටුව සහ ඉන් අනතුරුව ඇති වූ ගංවතුර තත්ත්වයන්ගෙන් පීඩාවට පත් දිවයින පුරා පාසල් සිසුන් 27,000කට ආසන්න පිරිසකට සහාය වීම සඳහා Tata Group, ChildFund සහ DIMO සමාගම එක්ව ‘Hope in a Backpack’ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. කොළඹ Taj Samudra හෝටලයේදී පැවැති මෙම ප්‍රදානෝත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ DIMO සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩසටහන යටතේ කෑගල්ල, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල පාසල් සිසුන් වෙත පාසල් උපකරණ ඇතුළත් බෑග් බෙදාහැරීම සිදු කෙරේ. DIMO සමාගමේ ‘Lassana Hetak’ සමාජ සත්කාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා Tata සහ DIMO ආයතනවල සේවක මහත්ම මහත්මීන් ස්වේච්ඡාවෙන් සිය දායකත්වය ලබා දී ඇති අතර, ඒ තුළින් ආපදාවට පත් දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු යළි විශ්වාසයෙන් යුතුව ආරම්භ කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
2025 දෙසැම්බර් මාසයේ සිදු කළ හදිසි අවශ්‍යතා හඳුනා ගැනීමේ ඇගයීමකින් පසු මෙම සහන වැඩසටහන සැලසුම් කෙරිණි. ආපදාවෙන් විපතට පත් ප්‍රජාවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සහ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අඛණ්ඩව පවත්වාගෙන යාම මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණ වී ඇත. ව්‍යාපාරික වගකීම්වලින් ඔබ්බට ගොස් සමාජයට සැබෑ වටිනාකමක් එක් කිරීම වෙනුවෙන් Tata Group සහ DIMO සමාගම වසර ගණනාවක් පුරා අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කරමින් සිටින බව මෙහිදී අවධාරණය කෙරිණි.
















