යුක්රේන ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නායකත්වය සම්බන්ධයෙන් ජනතාව අතර පවතින දැඩි අප්‍රසාදය සමනය කිරීමේ අරමුණින්, ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) එරට ප්‍රධාන හමුදා අණදෙන නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. 2022 රුසියානු ආක්‍රමණයෙන් පසු යුක්රේනය තුළ සංවිධානය වූ විශාලතම වීථි විරෝධතාවලින් අනතුරුව මෙම හමුව සිදුවීම විශේෂත්වයකි.
ප්රතිසංස්කරණවාදී තරුණ ආරක්ෂක අමාත්‍ය මයිකල් ෆෙඩොරොව් (Mykhailo Fedorov) ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව සහ හමුදාපති ඔලෙක්සැන්ඩර් සිරස්කි (Oleksandr Syrskyi) ඉවත් කරන ලෙස බල කරමින්, යුධ නීතිය පවා නොතකා දහස් සංඛ්‍යාත ජනතාවක් කියෙව් ඇතුළු නගර කිහිපයක වීථි බැස සිටිති. තරුණ ප්‍රජාව මූලික වූ මෙම විරෝධතාවලදී, හමුදාපති සිරස්කිගේ පැරණි සෝවියට් පන්නයේ අණදීම් සහ අධික ජීවිත හානි සිදුවන සටන් ක්‍රමවේද දැඩි ලෙස විවේචනයට ලක්වී ඇත.
මෙම තත්ත්වය හමුවේ හමුදාපති සිරස්කි වෙනුවට පත්කිරීමට සුදුසු යැයි සැලකෙන, යුද බිමේ අත්දැකීම් ඇති තරුණ හමුදා ප්‍රධානීන් 6 දෙනෙකු ජනාධිපති සෙලෙන්ස්කි විසින් තනි තනිව හමුවී ඇති අතර, ජනතාවගේ හඬට සවන් දුන් බවත් ඉදිරියේදී ධනාත්මක වෙනස්කම් සිදුවනු ඇති බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කිරිලෝ බුඩනොව් (Kyrylo Budanov) ප්‍රකාශ කර තිබේ.
















