රටේ ආර්ථිකය යළි ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ජනතාවට යම් යම් අපහසුතාවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසයි. අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කර තිබූ වරෙන්තු දෙකක් ආපසු කැඳවා ගැනීම සඳහා මෝසමක් ඉදිරිපත් කිරීමට අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
2022 වසරේ පැවති බංකොලොත් භාවයෙන් රට මුදාගෙන ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට රජය සමත්ව ඇති බවත්, මැදපෙරදිග යුද්ධය වැනි බාහිර සාධක සහ කාලීන උච්චාවචනයන් නිසා භාණ්ඩ මිල වෙනස් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම භාණ්ඩාගාරය පිරී ඇත්තේ ජනතාවගේ බදු මුදල්වලින් වන අතර ඒවා රටේ සංවර්ධනය සහ ජනතා සුභසාධනය වෙනුවෙන් විධිමත් ලෙස කළමනාකරණය කරමින් පවතින බවද, මන්ත්‍රී වැටුප් ලබාගැනීම තමන්ගේ අයිතියක් වුවද වැටුප් ලැබුණත් නැතත් තමන්ට පැවරුණු වගකීම් නිසි පරිදි ඉටු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
















