බන්ධනාගාර තුළ සිදුවන විවිධ ගැටුම්කාරී තත්ත්වයන් වළක්වා ගැනීමේ අරමුණින් රැඳවියන්ගේ හැසිරීම් රටාවන් නිරීක්ෂණය කිරීම සඳහා දහසකට ආසන්න බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් අලුතින් යොදවා ඇති බව වාර්තා වේ.
සිරකරුවන්ගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා, සංවිධානාත්මක කුමන්ත්‍රණ සහ බන්ධනාගාරයෙන් පිටත පාතාල කල්ලි සමඟ පවත්වන සබඳතා පිළිබඳව විමර්ශනය කර තොරතුරු ලබාදීම මෙම බුද්ධි කණ්ඩායම්වල ප්‍රධාන කාර්යභාරය වේ. මීට අමතරව, බන්ධනාගාර අභ්‍යන්තරයේ රැඳවියන් කල්ලි ගැසීම වැළැක්වීම සඳහා එකම ස්ථානයක දිගු කාලයක් රඳවා තබා නොගෙන, ඔවුන් වරින් වර වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට ද රජය පියවර ගෙන තිබේ. මේ වන විට මෙරට බන්ධනාගාර පද්ධතියේ සමස්ත රැඳවියන් 42,000ක් පමණ සිටින අතර, ඉන් මරණ දඬුවම හිමිවූ සිරකරුවන් 817කට අධික සංඛ්‍යාවක් සිටින බව අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
















