ගම්පොළ නගර සභාව පිහිටුවා වසරක් පිරීම නිමිත්තෙන් පවත්වා ඇති සාදයක් විවේචනය කරමින් සමාජ මාධ්‍යයට වීඩියෝවක් එක්කළ චාමර මනෝ නැමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට එරෙහිව ගම්පොළ නගර සභාවේ සභාපතිවරයා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ගම්පොළ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් නගරය ජලයෙන් යටවී, කසළ සහ ඩෙංගු ප්‍රශ්න පවතිද්දී ජනතාවගේ බදු මුදලින් මෙලෙස සාද පැවැත්වීම අනුමත කළ නොහැකි බව අදාළ ක්‍රියාකාරිකයා පවසා ඇත. කෙසේ වෙතත්, මෙම සාදය සඳහා මහජන මුදල් වැය නොකළ බවත්, තමන්ගේ සහ සභාවේ ප්‍රතිරූපයට හානි කිරීම වෙනුවෙන් අදාළ වීඩියෝවට වාරණයක් පනවන ලෙසත් මන්ත්‍රීවරුන් පොලීසියෙන් ඉල්ලා සිටී. මෙම සාදයට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහභාගී වී නොමැති බව ද වාර්තා වේ.














