ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රතීතන ආයතන (Accreditation Bodies) නියෝජිතයන් සඳහා වන සතියක ධාරිතා වර්ධන වැඩසටහනකට සාර්ථකව සත්කාරකත්වය ලබා දෙමින්, කලාපීය සහයෝගීතාව සහ ජාත්‍යන්තර ප්රමිතීන් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) පියවර ගෙන ඇත.
අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ගෝලීය ප්‍රතීතන සහයෝගිතාවයේ (GLOBAC ACI) සමාරම්භක සභාපති බ්රහීම් හවුලා (Brahim Houla) මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී ජාත්‍යන්තර වෙළෙඳාම, ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂණය සඳහා ප්‍රතීතනය සතු වැදගත්කම දැඩි ලෙස අවධාරණය කෙරිණි.
ආසියා පැසිෆික් ප්‍රතීතන සහයෝගිතාව (APAC) සමඟ ඒකාබද්ධව සංවිධාන කරන ලද මෙම වැඩසටහන හරහා ප්‍රතීතන සහ අනුකූලතා ඇගයීම් ක්ෂේත්රයේ තාක්ෂණික නිපුණතා හුවමාරු කරගැනීම සාර්ථකව සිදු විය.
ජූනි 09 වැනිදා ‘එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රතීතන දිනය’ ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට, ඔස්ට්‍රේලියාව, පැනමාව, ටියුනීසියාව සහ ඉතාලිය සමඟ සම-අනුග්‍රහය දක්වන රටවල් පහෙන් එකක් ලෙස එක්වන ලෙස ශ්‍රී ලංකාවට නිල වශයෙන් ආරාධනා කර තිබේ. මෙය ගෝලීය ප්‍රතීතන ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතියට ලැබුණු සුවිශේෂී ඇගයීමකි.
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතන සහතික හිමිවීම හරහා ශ්‍රී ලාංකේය නිෂ්පාදන සහ සේවාවන්ට ගෝලීය වෙළෙඳපොළ තුළ ඉහළ පිළිගැනීමක් හිමිවන අතර, පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය පිළිබඳ තහවුරු කිරීමක් ලැබෙනු ඇත.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) ප්‍රසන්න රණසිංහ සහ වැඩබලන අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චන්දිතා එදිරිවීර මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














