වසර දෙකක කාලසීමාවක් තුළ රුපියල් කෝටි පහකට අධික අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම සඳහන් කර ඇත්තේ, 2023 අංක 19 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව මෙම නඩු පැවරීමේ කටයුතු ඉදිරියේදී සිදුවන බවයි. 2011 මාර්තු 31 වැනිදා සිට 2013 මාර්තු 31 දක්වා වූ කාලසීමාව තුළ රුපියල් 57,347,956.98 කට ආසන්න ප්‍රමාණයක අයථා ලෙස දේපළ මිලදී ගැනීම් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කර තිබූ අතර, මේ වන විට විමර්ශන කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඇත. නඩුවේ විමර්ශන ප්‍රගතිය ලබන නොවැම්බර් 10 වැනිදා නැවත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.














