ඉකුත් ජනවාරි මාසයේදී ඉරානය පුරා පැවැති විරෝධතාවලට සම්බන්ධ වූයේ යැයි කියන පුද්ගලයෙකු එල්ලා මරා දඬුවම ක්‍රියාත්මක කළ බව ඉරාන අධිකරණ අමාත්‍යාංශයේ නිල පුවත් ඒජන්සිය වන Mizan පුවත් සේවය තහවුරු කරයි.
මෙලෙස මරණ දඬුවම හිමිව ඇත්තේ ‘මෙහ්දි ඛානෙකි’ (Mehdi Khaneki) නමැති 26 හැවිරිදි නීති උපාධිධාරියෙකුටය. ඉශ්‍රායලය, ඇමෙරිකාව සහ ඉරාන විරෝධී කණ්ඩායම් වෙනුවෙන් ඔත්තු බැලීම, නීති විරෝධී ලෙස ගිනි අවි ළඟ තබාගැනීම සහ ඉරානය තුළ තහනම් කර ඇති PMOI (People’s Mojahedin Organisation of Iran) සංවිධානයේ සාමාජිකයෙකු ලෙස විරෝධතාවලට එක්වීම යන චෝදනා ඔහුට එල්ල වී තිබුණි.
කෙසේ වෙතත්, ප්‍රංශයේ පදනම් වූ ඉරාන විපක්ෂ කණ්ඩායම් චෝදනා කරන්නේ ඛානෙකි මාස ගණනාවක් තිස්සේ දැඩි ශාරීරික හා මානසික වධහිංසාවලට ලක්කර ඇති බවයි. පසුගිය මාස කිහිපය තුළද මෙවැනිම චෝදනා මත පුද්ගලයින් ගණනාවකට ඉරානය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















