මාතර, දෙවුන්දර දේවාලයේ පෙරහර ආශ්‍රිතව අපරාධ කල්ලි නායකයන් වන ‘දෙහිබාලේ මල්ලි’ සහ ‘කංජිපානි ඉම්රාන්’ අතර හටගත් ගැටුම මේ වන විට වෙඩි තැබීම් සහ මරණ තර්ජන දක්වා උග්‍ර වී තිබේ.
දෙවුන්දර දේවාලයේ පෙරහැරට සහභාගී වන කාවඩි නර්තන කණ්ඩායම් සංඛ්‍යාව අඩු කිරීමට එරෙහිව කංජිපානි ඉම්රාන්ගේ පාර්ශ්වයෙන් බස්නායක නිලමේවරයාට මරණ තර්ජන එල්ල වී ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ දෙ පාර්ශ්වය අතර හඬපට හුවමාරුවක් ද සිදුව ඇත. මෙම තත්ත්වය හමුවේ ඊයේ (21) රාත්‍රියේ දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට දෙහිබාලේ මල්ලිගේ පාර්ශ්වය විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි. එළැඹෙන 29 වැනිදා පැවැත්වීමට නියමිත දෙවුන්දර පෙරහර වෙනුවෙන් පොලිසිය, විශේෂ කාර්ය බලකාය (STF) සහ යුද හමුදාව යොදවා විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන තිබේ.
















