මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මස 20 වන දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා නියෝග කර ඇත.
අද (ජූලි 24) මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අසනීප තත්ත්වයෙන් පසුවන බවට ඔහුගේ නීතිඥවරයා විසින් කරුණු දැක්වීම හේතුවෙන් නඩුව එලෙස කල් තැබුණු අතර, එදින සාක්ෂි දීම සඳහා පැමිණ සිටි නාවික හමුදා නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන්ට මීළඟ දිනයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා අවවාද කළේය. දෙහිවල සහ රත්මලාන ප්රදේශවල ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීම හරහා මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
















