2019 වසරේ වීරකැටිය පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයේ නොගෙවූ රුපියල් 2,682,246.57ක විදුලි බිල සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම එළඹෙන දෙසැම්බර් මස 4 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවා ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට ලක්වෙමින් පවතින බැවින් ඊට අදාළ අනුප්‍රාප්තික සමාගම වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට ද අවසර ලබා දී ඇත. නීතිඥ විජිත කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සම වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙනී සිටියේය.
මෙහිදී පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ තමාගේ රුපියල් 7,390ක මාසික විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කළ ද, නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය වෙනුවෙන් භාවිත කළ රුපියල් ලක්ෂ 26කට අධික අතිවිශාල හිඟ බිල නොගෙවා තිබියදීත් අදාළ නිවසේ විදුලිය විසන්ධි නොකිරීම නීතිය ඉදිරියේ අසමාන සැලකීමක් බවත්, එයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්ය. කෙසේ වෙතත්, මෙම බිල තමන් විසින් ගෙවා දමා ඇති බව අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
















