එළඹෙන අගෝස්තු මස 18 වන දින ආරම්භ වී 28 වන දින දක්වා පැවැත්වෙන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය උත්කර්ෂවත්ව හා අභිමානවත්ව පවත්වාගෙන යාම සඳහා රජයේ උපරිම සහාය සහ මැදිහත්වීම ලබා දීමට තීරණය කර තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය කර ඇති අතර, පෙරහැරට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම්, ප්‍රවාහන සේවාවන් සහ අලි ඇතුන් ලබා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. මෙම අවස්ථාවට දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක්ද සහභාගී වී තිබේ.














