ඩිජිටල් තාක්ෂණය සහ ක්ෂණික තොරතුරු රජයන වර්තමාන යුගය තුළ නව පරපුර අතර කියවීමේ සංස්කෘතියක් ඇති කිරීම අත්‍යවශ්‍ය වන බවත්, අධ්‍යාපනයේ නිර්මාණශීලීත්වය මෙන්ම සංස්කෘතිය සහ කලා ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ජාතික සංවර්ධනයේම අත්‍යවශ්‍ය කොටසක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. කොළඹ සාහිත්‍ය උළෙලේ ආරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළ අතර, දෙස් විදෙස් ලේඛකයින්, කවියන්, විද්වතුන් සහ කලාශිල්පීන් රැසක් එක්ව සිටි මෙම උළෙල ජූලි 24 වනදා සිට 29 වනදා දක්වා දින 6ක් පුරා කොළඹදී පැවැත්වේ. රටේ බුද්ධිමය පුනරුදය සහ සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීම පිණිස සංස්කෘතික සංරක්ෂණය සහ සාහිත්‍ය ප්‍රවර්ධනය කෙරෙහි රාජ්‍ය මට්ටමින් ලබා දී ඇති ප්‍රමුඛතාව මෙමඟින් මනාව පැහැදිලි වේ.මෙම සමාරම්භක අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ඉන්දීය ලේඛක මෙන්ම දේශපාලනඥ ශෂී තරුර් ඇතුළු විද්වතුන් රැසක් සහභාගී වී සිටි අතර, එහිදී අග්‍රාමාත්‍යවරිය විශේෂයෙන් සඳහන් කළේ යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය කිසිදා අමතක නොවන ඛේදනීය සිදුවීමක් බවයි. දැනුම, මතකය සහ ඉතිහාසය සුරැකීමේදී පොත්පත්, ලේඛකයින් සහ ප්‍රකාශකයින් ඉටු කරන අමිල කාර්යභාරය අගය කරන සංස්කෘතියක් සමාජය තුළ ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණක් බවද ඇය අවධාරණය කළාය. ඓතිහාසික අත්දැකීම් මගින් පාඩම් උගෙන ගනිමින් අනාගත පරපුර බුද්ධිමය වශයෙන් සවිබල ගැන්වීම, ජාතික සංවර්ධන ක්‍රියාවලියේදී අත්‍යවශ්‍ය වන මූලිකම පියවරකි.
මෙවැනි සාහිත්‍යමය සහ සංස්කෘතික වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාම හරහා ජාතික එකමුුතුව සහ සමාජ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වන අතර, අධ්‍යාපන සහ කලා ක්ෂේත්‍රයේ නව පිම්මක් පැනීමට එය දැඩි ලෙස ඉවහල් වනු ඇත. අනාගත පරපුරේ සදාචාරාත්මක හා බුද්ධිමය සංවර්ධනය උදෙසා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ රටේ දිගුකාලීන ස්ථාවරත්වයට සහ ප්‍රගතියට සෘජුවම බලපානු ඇත.














