වත්මන් රජය බලයට පත්වීමට පෙර වතුකරයේ ජනතාවට ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු කර නොමැති නම්, එම ජනතාව සමඟ එකට එක් වී අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වීදි බසින බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි. හැටන් නගරයේ පැවති ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, වත්මන් රජය බලයට පත් වී වසර දෙකක් ගත වී ඇතත් මෙතෙක් ඉටු කර ඇත්තේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය කාලය පුරා විපක්ෂය නිහඬව සිටියද, දුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ එකතු වී සන්ධානගත වී ඇති බවත්, ජනාධිපතිවරයා හමුවී වතුකරයේ ජනතාවට ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී “වතු කම්කරුවන්ට ලබා දීමට ඉඩම් තිබෙන්නේ කොහේදැයි” රජය විමසා සිටි බවද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට එක් වූ බහුතර ජනතාව මේ වන විට එම පාලනයෙන් ඉවත් වී ඇති බවද හෙතෙම අවධාරණය කළේය.













