මතභේදාත්මක දකුණු චීන මුහුදු සීමාවේදී සිදු වූ නෞකා අතර ගැටුම සම්බන්ධයෙන් පිලිපීනයේ සහ චීනයේ විදේශ අමාත්‍යවරුන් මැනිලා නුවරදී හමුවී දෙපාර්ශ්වයෙන්ම දැඩි විරෝධය පළ කර තිබේ.පිලිපීන නිලධාරීන්ට එරෙහිව සිදු වූ පිළිගත නොහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් චීනය වෙත විරෝධය පළ කළ බව පිලිපීන විදේශ කටයුතු ලේකම් මාරියා තෙරේසා ලාසාරෝ ප්‍රකාශ කළ අතර, චීන නීති බලාත්මක කිරීමේ නෞකාවල පිලිපීන නිලධාරීන් හිතාමතාම ගැටීමට සැලැස්වීමේ ක්‍රියාවට එරෙහිව විරෝධය පළ කළ බව චීන විදේශ අමාත්‍ය වැං යී සඳහන් කර ඇත. ‘සෙකන්ඩ් තොමස් ෂෝල්’ දූපත් ආශ්රිත කලාපයේදී ඉකුත් සඳුදා සිදුවූ මෙම ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වශයෙන් චෝදනා එල්ල කරගත් අතර, චීන-පිලිපීන සබඳතා තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත් පිලිපීනය තම අනාගත ගමන් මග පිළිබඳව නිවැරදි තීරණයක් ගත යුතු බවත් අමාත්‍ය වැං යී එහිදී පවසා තිබේ.














