අධිකරණ පද්ධතියේ පවතින දැවැන්ත නඩු ප්‍රමාණය කඩිනමින් අවසන් කර ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් ඇතුළු සමස්ත විනිසුරු මඩුල්ලේම විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11 ක් පමණ ගොඩගැසී ඇති බවත්, නඩු කටයුතු කාර්යක්ෂම කිරීමට පරිණත සහ අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවත්ය. විපක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු, මෙය කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් කළ යුනියක් නොවන බවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විනිසුරුවරුන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති කරුණු ද සැලකිල්ලට ගනිමින් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මෙම ප්‍රතිපත්තිමය තීරණය ගත් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














