ශ්‍රී ලංකාවේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල මෙහෙයුම්, පරිපාලනය, ප්‍රමිතිකරණය, ව්‍යාපාර සංවර්ධනය හා ජාතික මට්ටමේ ප්‍රතිපත්තිමය සම්බන්ධීකරණය සඳහා ප්‍රවාහන විෂයභාර අමාත්‍යාංශය යටතේ ස්ථිර ආයතනික ව්‍යුහයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධාන ප්‍රකාරව ප්‍රවාහන විෂය භාර අමාත්‍යාංශය යටතේ පාලනය වන 100% ක් මහා භාණ්ඩාගාරයට අයත් සීමාසහිත (පොදු) සමාගමක් ස්ථාපිත කිරීම යෝග්‍ය බවට නිර්දේශ කර ඇති අතර, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. මගී ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම හා පරිශීලක හිතකාමී කිරීම අරමුණු කර ඇති මෙම වැඩසටහන යටතේ, මේ වන විට මාකුඹුර සහ කඩවත මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර අනුරාධපුර (දක්ෂිණ) සහ මහනුවර මධ්‍යස්ථානවල ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී.














