රිදීමාලියද්ද සෙනසුන්ගල පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, එක් හිමිනමකට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. මෙම පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිමිනම ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහියංගණය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
විහාරස්ථානයේ හිටපු විහාරාධිපති හිමියන් අපවත්වීමෙන් පසු විහාරාධිපති ධුරය සඳහා අළුකැටියාවේ සීලවංශ හිමි සහ කෙසෙල්පොත මේධංකර හිමි අතර කලක සිට ගැටුම් පැවතී ඇති අතර, මීට පෙරද මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිලි ලැබී අධිකරණයෙන් අත්හිටවූ සිරදඬුවම් පවා නියම කර තිබුණි.
පොලිසිය පවසන පරිදි, පසුගිය 24 වැනිදා සීලවංශ හිමියන් තමා විහාරාධිපති ලෙස පත්කළ බවට ලිපියක් රැගෙන විහාරස්ථානයට පැමිණ, එහි වැඩ විසූ මේධංකර හිමියන්ගෙන් යතුරු ඉල්ලා ඇති අතර, එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සීලවංශ හිමියන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ එක්ව මේධංකර හිමියන්ට පහර දී පලාගොස් ඇත. පහරකෑමෙන් තුවාල ලැබූ මේධංකර හිමියන් මහියංගණය රෝහලට සහ පසුව බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.
අරාව ප්‍රදේශයේ සැඟව සිටියදී මහියංගණය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, පහරදීමට සහාය වූ සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වයි. විහාරස්ථාන ගුහාවක පුරාවස්තු පැවතීම සහ අපවත්වූ විහාරාධිපති හිමියන්ගේ බැංකු ගිණුමක රුපියල් ලක්ෂ හැටකට අධික මුදලක් තැන්පත් කර තිබීම මෙම ගැටුමට හේතු වී ඇති බවට සැක කෙරේ.














