රුසියාවේ ප්‍රධාන පෙළේ ඔන්ලයින් සිල්ලර වෙළඳ සමාගමක් වන ‘Wildberries’ (රුසියාවේ ඇමසන් ලෙස හැඳින්වෙන) ආයතනයට අයත් ගබඩා දෙකක් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි.
පසුගිය ජූලි 18 වැනි දින සිට මේ දක්වා රුසියාවේ ‘Wildberries’ ආයතනයට අයත් ගබඩා සහ මධ්‍යස්ථාන දොළහකට ආසන්න සංඛ්‍යාවක් යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර මගින් ඉලක්ක කර තිබේ. රුසියානු පෙන්සා (Penza) සහ උද්මුර්ටියා (Udmurtia) ප්‍රදේශවල පිහිටි ගබඩා වෙත එල්ල වූ මෙම නවතම ප්‍රහාර හේතුවෙන් දැවැන්ත ගිනි ගැනීම් හටගෙන ඇති අතර, පෙන්සා ප්‍රදේශයේ ගබඩාවෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර සේවකයින් 200ක් පමණ ආරක්ෂිතව ඉවත් කර ඇත.
මෙම අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් රුසියාවේ සැපයුම් දාමය (distribution chain) දැඩි ලෙස අඩාල වී ඇති අතර, මෙම ඔන්ලයින් වෙළඳ වේදිකාව මත යැපෙන කුඩා ව්‍යාපාරිකයින් දහස් ගණනකට බරපතල මූල්‍යමය පාඩු සිදුවෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. මොස්කව් යුධ මෙහෙයුම්වලට එරෙහිව පීඩනය යෙදීමේ අරමුණින් රුසියානු අභ්‍යන්තර ප්‍රදේශ වෙත මෙලෙස දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන බව යුක්‍රේනය පවසයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














