රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා සහ නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා සම්පූර්ණයෙන්ම පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇති බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
කෙසේ වෙතත්, චූදිතයින් විසින් සිදු කර ඇතැයි කියන වැරදිවල ස්වභාවය සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් කර තිබෙන අනෙකුත් චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවද මහාධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙම නඩුවට අදාළව විත්ති පාර්‌ශ්වය මතු කළ නීතිමය තර්‌ක හා කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම තීරණයට එළඹ තිබේ.
මෙම අධිකරණ තීරණය මෙරට අපරාධ නඩු විධාන සංග්‍රහය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීම සම්බන්ධයෙන් වැදගත් නීතිමය පූර්‌වාදර්ශයක් සපයන අතර, දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන නඩුවේ ඉදිරි කටයුතු ඉදිරියේදී අධිකරණය හමුවේ ක්‍රියාත්මක වීමට නියමිතය.














