ත්‍රීරෝද රථයක ගමන් කරමින් වස සහ ඇසිඩ් අඩංගු බෝතල් පෙන්වා එකිනෙකා ඝාතනය කර තමනුත් මියයන බවට තර්ජනය කරමින් දැඩි කලබලකාරී ලෙස හැසිරුණු අඹුසැමි යුවළක් ඊයේ (29) රාත්‍රී හිරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර, කඹුරුගොඩ ප්‍රදේශයේ පදිංචි 32 සහ 37 හැවිරිදි තිදරු මවක් සහ පියෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී වස සහ ඇසිඩ් යැයි සැක කෙරෙන ද්‍රාවණ අඩංගු බෝතල් දෙකක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
වසර ගණනාවක සිට සැමියා සහ දරුවන් අතහැර කොළඹ රැකියාවක නිරත වූ බිරිඳ පසුපස සැමියාද හොර රහසේ පැමිණ ඇති අතර, පානදුරේ සිට කැස්බෑව දෙසට ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම ආරවුල හටගෙන තිබේ. එහිදී සැමියා වස බෝතලයක් පෙන්වා තර්ජනය කර ඇති අතර, බිරිඳද තම බෑගයේ තිබූ ඇසිඩ් බෝතලයක් ගෙන ඔහුට පහර දීමට උත්සාහ කරමින් දිවි නසා ගන්නා බව පවසා ඇත. පසුව බියට පත් ත්‍රීරෝද රථ රියදුරු රාත්‍රී 11.30ට පමණ රථය හිරණ පොලිසිය වෙත පදවාගෙන ගොස් ඔවුන් පොලිසියට භාර දී පලාගොස් ඇති අතර, එහිදීද ඔවුන් දිගටම ආරවුල් ඇති කර ගනිමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන හිරණ පොලිසිය විසින් සිදු කරනු ලබයි.














