2026 වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 9.5ක නාමික අයවැය අතිරික්තයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව මූල්‍ය තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කර ඇත. 2025 වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 405.6ක අයවැය හිඟයක් වාර්තා වූ අතර, එයට සාපේක්ෂව මෙය සුවිශේෂී ජයග්‍රහණයකි.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2026 ජනවාරි – ජූනි රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාවට අනුව, රජයේ ආදායම සියයට 27කින් ඉහළ යෑම මෙම ප්‍රගතියට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
2026 ජනවාරි – ජූනි මූල්‍ය සමාලෝචනයට අනුව මුළු ආදායම හා ප්‍රදාන රු. බිලියන 2,956.0 ක් වන අතර, බදු ආදායම 26%කින් සහ බදු නොවන ආදායම 44%කින් වර්ධනය වී ඇත. රජයේ මුළු වියදම රු. බිලියන 2,946.5 ක් ලෙස සටහන් වන අතර, වියදම් වැඩිවීම පාලනය කරමින් මුළු වියදම ඉහළ ගොස් ඇත්තේ 7.9%කින් පමණි. එසේම, ප්‍රාථමික ගිණුමේ අතිරික්තය රු. බිලියන 1,244.1 ක් වන අතර සමස්ත අයවැය අතිරික්තය රු. බිලියන 9.5 කි.
ප්‍රධාන ආදායම් උපයන ආයතන අතර ශ්‍රී ලංකා රේගුව වාර්ෂික ඇස්තමේන්තුවෙන් 59%ක් සපුරා ගනිමින් රු. බිලියන 1,290ක ආදායමක් (මෝටර් රථ ආනයන බදු ආදායම මීට විශාල දායකත්වයක් ලබා දී ඇත) ලබා ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්ෂික ඉලක්කයෙන් 52%ක් එනම් රු. බිලියන 1,248ක් (VAT ආදායම කැපී පෙනේ) සහ සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂික ඇස්තමේන්තුවෙන් 57%ක් වන රු. බිලියන 138ක් උපයා තිබේ.
මීට අමතරව, ණය පිරිවැය කළමනාකරණය හේතුවෙන් රජයේ මුළු පොලී ගෙවීම් සියයට 2කින් රුපියල් බිලියන 1,234.6 දක්වා පහත වැටී ඇති අතර, ප්‍රාග්ධන ආයෝජන සියයට 23.6කින් රුපියල් බිලියන 276.6 දක්වා වර්ධනය වී තිබේ. එසේම, 2026 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1ක වර්ධනයක් වාර්තා කර ඇත.














