කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට ලැබෙමින් පවතින තද වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 48 ඇතුළත ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් අද (01) පෙ.ව. 7.30 ට මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර, එය අනිද්දා (03) පෙ.ව. 7.00 දක්වා වලංගු වේ. ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.පවතින කාලගුණ පුරෝකථනයන්ට අනුව ඉදිරියේදීද අධි තීව්‍රතාවයකින් යුත් වර්ෂාව ඇති විය හැකි බැවින් ගඟෙහි ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇත. එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව, ගඟ පරිහරණය කරන්නන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් මේ තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ අවධානයකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.














