කොළඹ හිල්ටන් හෝටලයේ හිමිකාරීත්වය දරන රජයේ ව්‍යවසායයක් වන Hotel Developers (Lanka) Ltd – HDL සමාගම වසර 2017න් පසු පළමු වරට ලාභ ලබමින්, 2025 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන 48.5ක බද්දෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ.
සමාගමේ සභාපති ප්‍රවීර් සමරසිංහ මහතා සඳහන් කළේ, විනයගරුක උපායමාර්ග, මෙහෙයුම් අවධානය සහ සාර්ථක ව්‍යාපාරික පරිවර්තනය හේතුවෙන් මෙම සන්ධිස්ථානය සපුරා ගැනීමට හැකි වූ බවයි. 2024 අගභාගයේදී අවසන් කරන ලද කාමර පරිපූර්ණ අලුත්වැඩියා කිරීම හේතුවෙන් 2015 වසරින් පසු ප්‍රථම වතාවට සම්පූර්ණ කාමර 368ක නවාතැන් පහසුකම් යළි ක්‍රියාත්මක කිරීමට හැකිවීම මෙහිදී ප්‍රධාන වශයෙන් බලපා ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ ඇති වූ වර්ධනය සහ ජාත්‍යන්තර සංචාරක පැමිණීම මිලියන 2.36 දක්වා ඉහළ යාම ද මෙම සාර්ථකත්වයට රුකුලක් වී තිබේ.














