බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“තවත් බන්ධනාගාර නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ. මෙවර කොපමණ ජීවිත සංඛ්‍යාවක් අහිමි විය හැකිද යන්න ප්රශ්නයකි. මෙය සති කිහිපයක් ඇතුළත බන්ධනාගාරයක් තුළ වාර්තා වූ දෙවන ප්‍රධාන නොසන්සුන්තාවයයි. මේවා තවදුරටත් තනි සිදුවීම් ලෙස බැහැර කළ නොහැක. මෙය අයහපත් කළමනාකරණය, නොසැලකිලිමත්කම සහ දැඩි පීඩනයකට ලක්ව ඇති බන්ධනාගාර පද්ධතියක සෘජු ප්රතිඵලයකි,” යැයි ඔහු සඳහන් කර ඇත.
අප හමුවේ මෙවැනි අර්බුදයක් දිගහැරෙමින් පවතිද්දී පවා අදටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන්නේ ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර නොමැතිව බව පෙන්වා දී ඇති මන්ත්‍රීවරයා, මෙතරම් තීරණාත්මක තනතුරක් සඳහා තවමත් සුදුසු අයෙකු නිසි පරිදි පත් කර නොමැති බවද අවධාරණය කර තිබේ. අමතර ආරක්ෂක බලඇණි යෙදවීමෙන් එක් දිනකට තත්ත්වය පාලනය කරගත හැකි වුවද, එයින් ගැටලුව නිරාකරණය වන්නේ නැති බවත්, බන්ධනාගාරවල පවතින අධික තදබදය, ප්‍රමාණවත් පහසුකම් නොපැවතීම, අසතුටුදායක සෞඛ්‍ය සේවා සහ අර්ථවත් පුනරුත්ථාපන වැඩපිළිවෙළක් නොමැතිකම පිළිබඳව වහා අවධානය යොමු විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.














