කොළඹ වරායට බටහිර දෙසින් මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටි තොගයෙන් එක් කන්ටේනර් පෙට්ටියක් බෙන්තොට ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් ඉඳුරුව අතුරුවැල්ල වෙරළ තීරයට අද (02) උදෑසන ගොඩගසා ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි.
මේ වන විට අතුරුවැල්ල ප්‍රදේශයට ගොඩගසා ඇති කන්ටේනර් පෙට්ටිය ආසන්නයට මහජනතාවට ළං නොවන ලෙස පොලිසිය දැනුම් දී ඇති අතර, කොළඹ වරායට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළෙඳ නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් 17ක් පාවෙමින් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින්නැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවර යාත්‍රා වෙත හදිසි දැනුම්දීමක් සිදු කර තිබේ.
අදාළ බහාලුම් පතිත වී ඇත්තේ උතුරු අක්ෂාංශ 06° 54′ සහ නැගෙනහිර දේශාංශ 079° 32′ ට ආසන්න මුහුදු ප්‍රදේශයේදී වන අතර, පවතින සුළං තත්ත්වය සහ දියවැල්වල දිශාව අනුව මේවා හලාවත, මීගමුව සහ බේරුවල හරහා ගාල්ලට ආසන්න මුහුදු ප්‍රදේශ කරා දකුණු දෙසට පාවී යාමේ වැඩි හැකියාවක් පවතී. මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල දක්වා වූ දකුණු මුහුදු ප්‍රදේශවල රැකියාවේ නියුතු සහ ගමන් කරමින් පවතින සියලුම ධීවර යාත්‍රා දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත්, යාත්‍රාවල ගැටීමෙන් බරපතල අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින් අතිශය සුපරීක්ෂාකාරී වන ලෙසත් නාවික අංශ සහ ධීවර දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
යම් හෙයකින් මෙම පාවෙමින් පවතින බහාලුම් නිරීක්ෂණය වුවහොත්, වහාම ඒ පිළිබඳව ධීවර දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථාන වෙත හා පොලිසියට දැනුම් දෙන ලෙස සියලුම ධීවර කාර්මිකයන්ගෙන් ඉල්ලා ඇත.














