මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති අතර, විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ බන්ධනාගාර පාලනාධිකාරිය එක්ව උදෑසන වන විට බන්ධනාගාරයේ අභ්‍යන්තර පාලනය සම්පූර්ණයෙන්ම තම භාරයට ගෙන එහි ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර තිබේ. පෙර දින රාත්‍රියේ එම ස්ථානයට කැඳවා තිබූ ගිනි නිවන රථ සහ ගිලන් රථද මේ වන විට පරිශ්‍රයෙන් පිටත්ව ගොස් ඇත.රැඳවියන් 4,000කට අධික පිරිසක් රඳවා සිටින මහර බන්ධනාගාරය මීගමුව බන්ධනාගාරයට වඩා පැරණි මෙන්ම වැඩි ධාරිතාවකින් යුත් ස්ථානයක් වන අතර, මෙම ගැටුම්කාරී සිදුවීමේදී ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදානගේ සොහොයුරෙකු වන, මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් පසු එදිනම මහර බන්ධනාගාරයට ස්ථාන මාරුවීම් ලැබ පැමිණි ප්‍රධාන ජේලර් ගයාන් මහතාගේ කාර්යාලයට ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත. දූෂණයෙන් සහ අල්ලසෙන් තොර දැඩි පාලන තන්ත්‍රයක් පවත්වාගෙන ගිය නිලධාරියෙකු ලෙස ඔහු ප්‍රකට අතර, එම පාලන අධිකාරියට එරෙහිව ඇති වූ විරෝධය මෙම ගිනි තැබීමට හේතු වන්නට ඇතැයි අනුමාන කෙරේ. සෙනසුරාදා පස්වරුවේ රැඳවියන්ගේ ඥාතීන් පැමිණ සිටි අවස්ථාවේදී අභ්‍යන්තරයේ සිට පිටතට ගල් ප්‍රහාර එල්ල වීමත් සමඟ මෙම තත්ත්වය ආරම්භ වී ඇති අතර, බන්ධනාගාර තාප්පයේ අලුත්වැඩියා කරමින් පැවති කොටසක සවිකර තිබූ තහඩුවක් ගලවා රැඳවියන් පිරිසක් පලා යාමට උත්සාහ කර ඇති බවටද තොරතුරු පවතී.
මෙම සිදුවීමෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මීගමුව බන්ධනාගාරයෙන් ආරම්භ වී මහර දක්වා ව්‍යාප්ත වූ මෙම තත්ත්වයට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල මර්දන ක්‍රියාමාර්ග නිසා ඇති වූ පීඩනය සෘජුවම බලපාන්නට ඇති බව විශ්වාස කෙරේ. විවිධ කණ්ඩායම් එකිනෙක ගැටීම සහ සුළු වැරදි සම්බන්ධයෙන් අධික ලෙස පිරිස් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් හටගන්නා අධික තදබදය අවම කිරීමට ඇප ලබාදීමේ ක්‍රමවේදයන් වේගවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුව ඇත.














