අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ ගැටලු නිරාකරණය කිරීම සහ විදේශ රැකියා ක්ෂේත්‍රය සඳහා කුසලතාපූර්ණ ශ්‍රමිකයින් බිහිකිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.වාර්ෂිකව මිලියන පහක සංචාරක ඉලක්කය සපුරාගැනීම පහසු කිරීම සඳහා අමාත්‍යාංශය හරහා මුදල් වෙන්කිරීමේ පැවති ක්‍රමය වෙනුවට 2027 වසරේ සිට මුදල් අමාත්‍යාංශය හරහා සෘජුවම දිස්ත්‍රික්ක වෙත අරමුදල් වෙන්කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත. දිස්ත්‍රික් මට්ටමින් සංචාරක ක්ෂේත්‍රයේ ගැටලු ඉක්මනින් නිරාකරණය කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ රාජ්‍ය ආයතන, වනජීවී, පුරාවිද්‍යා හා පොලිසිය ඇතුළත් අනුකමිටුවක් පත් කර මාස දෙකකට වරක් රැස්වන ලෙසට උපදෙස් ලබාදී ඇති අතර, දිස්ත්‍රික් යටිතල පහසුකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ‘ආරුගම්බේ සන්සෙට් වීව්’ ස්ථානය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 173ක් වෙන් කර ඇත.
මීට අමතරව, අභාවයට යමින් පවතින රජයේ විශ්‍රාම නිකේතන පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් සංචාරක හෝටල් ලෙස පවත්වාගෙන යාමටත්, නැගෙනහිර පළාතේ ඉඩම් ප්‍රශ්න නිරවුල් කිරීමට සහ වෙරළ තීරයේ නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන ඇති ඉඩම් නිදහස් කර සංවර්ධනයට යෙදවීමට විශේෂ කැබිනට් කමිටුවක් පත් කිරීමටත් තීන්දු කර තිබේ. විදේශ රැකියා හා මානව සම්පත් සංවර්ධනය උදෙසා අම්පාර දිස්ත්‍රික්කයෙන් විදේශගත වන ශ්‍රමිකයින්ගේ පුහුණු කටයුතු වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් ලබන වසරේදී අම්පාරේ ස්ථාපිත කිරීමට මෙන්ම, ශ්‍රී ලංකා හෝටල් පාසල සහ සමෘද්ධි අමාත්‍යාංශය එක්ව අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණයින්ට නොමිලේ සංචාරක ක්ෂේත්‍රයේ පාඨමාලා ලබාදී රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය අම්පාරෙන් ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇත.
මෙම සාකච්ඡාව සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, අම්පාර දිස්ත්‍රික් ලේකම් සහ අම්පාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.














