බෝවතැන්න ජලාශයේ ජලය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 17 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව ජලාශ භාර ඉංජිනේරු බුද්ධික නවරත්න ප්‍රකාශ කරයි.
දිවයින පුරා පිහිටි ජලාශවල රොන්මඩ ඉවත් කිරීමේ ජාතික වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් (Pilot Project) ලෙස මෙය සිදු කරන බව පෙන්වා දෙන ජලාශ භාර ඉංජිනේරුවරයා, ඉදිකර වසර පනහක් ගතවී ඇති බෝවතැන්න ජලාශයේ මුල් ජල ධාරිතාව ඝන මීටර් මිලියන 56ක් ලෙස ලේඛනගතව තිබුණද 2014 වසරේ සිදුකළ සමීක්ෂණයකින් එය ඝන මීටර් මිලියන 23 දක්වා අඩුවී ඇති බව අනාවරණය වී ඇති බව කියා සිටී. කලාවැව ද්‍රෝණියට ජලය ලබාදෙන උමගේ ප්‍රවේශ ඇල මාර්ගය මීටර් හතරක පමණ ප්‍රමාණයක් රොන් මඩෙන් වැසී පැවතීම හේතුවෙන් ජලාශයේ ජලය හිස් කර එම ඇල මාර්ගය මීටර් සියයක දුරකට සුද්ධ පවිත්‍ර කර ඝන මීටර් 10,000ක පමණ රොන්මඩ ප්‍රමාණයක් ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර, නව තාක්ෂණය ඔස්සේ ජලාශයේ රැඳවිය හැකි ජල ප්‍රමාණය නැවත සමීක්ෂණය කිරීම, ජල විදුලි උත්පාදන මාර්ගයේ රොන් මඩ ඉවත් කිරීම සහ ඉවත් කළ හැකි වැලි ප්‍රමාණය කොපමණදැයි සොයා බැලීමද මෙහිදී සිදු කෙරේ. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය හේතුවෙන් ගොවිබිම් සඳහා ජලය නිකුත් කිරීමට කිසිදු බාධාවක් ඇති නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.














