මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව මීගමුවේ සිද්ධියට වඩා වෙනස් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. මීගමුවේ ගැටුම රැඳවියන් අතර ඇති වූවක් වුවද, මහර සිදුවූයේ බන්ධනාගාර පාලනය අතර බව හෙතෙම සඳහන් කළේය. මහර බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද (2) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙලෙස බන්ධනාගාර තුළ නොසන්සුන්තා ඇතිවීමට යම්කිසි පිරිසක් සංවිධානාත්මක ආකාරයෙන් පිටත සිට මෙහෙයවනවාද යන්න පිළිබඳ තමන්ට සැකයක් ඇති බවත්, මීට පෙර හේතුවක් නොමැතිව මෙවැනි තත්ත්වයන් ඉස්මතු නොවූ බැවින් ඒ පිළිබඳ සොයාබැලීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. බන්ධනාගාර තුළ ගැටුම් ඇතිවීමට බන්ධනාගාර තදබදය එක හේතුවක් වුවද, වත්මන් රජය බලයට පත්වීමට පෙර සිටම එම තත්ත්වය පැවති බවත්, මේ වන විට එය මගහරවා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙහිදී රැඳවියන් පොදු දේපොළ හානි කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර දැඩි පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.













