මහර බන්ධනාගාරයේ ඊයේ (01) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සැකකරුවන් වන රැඳවියන් 104 දෙනෙකු අද (02) පෙරවරුවේ වෙනත් බන්ධනාගාර 7ක් වෙත මාරු කර යවා ඇති බව මහර බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති මහතා පවසයි.
මාධ්‍ය වෙත විශේෂ දැනුම්දීමක් කරමින් ඒ මහතා සඳහන් කළේ, වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ එම රැඳවියන්ගේ නාම ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ග බාධකය අසල ප්‍රදර්ශනය කර ඇති බවයි. එෙන්ම එළැඹෙන බ්‍රහස්පතින්දා දක්වා මහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම සිදු නොකරන බවද හෙතෙම පැවසීය.
මේ වන විට මහර බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස අධිකාරීවරයා රැඳවියන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටී.













