මීට දින දෙකකට පෙර කොළඹ මුහුදු තීරයට වැටුණු හිස් කන්ටේනර් 17න් 15ක්ම මේ වන විට සාගර ප්‍රවාහයන් හේතුවෙන් දකුණු මුහුදු තීරය වෙත පාවී යාමට ඉඩ ඇති බැවින්, බහුදින යාත්‍රා ඇතුළු සමස්ත ධීවර ප්‍රජාවම දැඩි අවධානයෙන් පසුවන ලෙස ධීවර දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
මේ වන විට සොයාගෙන ඇත්තේ කන්ටේනර් 2ක් පමණක් වන අතර, කොස්ගොඩ, ගාල්ල, රත්ගම සහ මාතර යන දකුණු වෙරළබඩ ප්‍රදේශවල මුහුදු තීරයේ ගමන් කරන විට පාවෙන කන්ටේනර් සමඟ ගැටීමෙන් බරපතළ අනතුරු සිදුවිය හැකි බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. එවැනි කන්ටේනර් දැකගතහොත් වහාම ධීවර දෙපාර්තමේන්තුවේ රේඩියෝ සන්නිවේදන මධ්‍යස්ථාන හරහා අදාළ බලධාරීන්ට දැනුම් දෙන ලෙස ඉල්ලා ඇත.













