ශ්‍රීලංකන් ගුවන් සමාගමේ තොරතුරු තාක්ෂණ (IT) අංශයේ සිදුවූ කෝටි ගණනක දූෂිත මෘදුකාංග සහ පද්ධති මිලදී ගැනීමේ වංචාවකට අදාළව සිය වරද පිළිගෙන ඉල්ලා අස්වූ කළමනාකාරවරයෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා රජයට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය (JVP/NPP අනුබද්ධ) සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව වාර්තා වේ. මීට පෙර රාජකාරි ගුවන් ගමන් අතරතුර විදේශීය මත්පැන් ජාවාරම් කළ ආරක්ෂක කළමනාකාර කෝසල කාරියවසම් නැමැත්තාගේ වැඩ තහනම ඉවත් කිරීමට ද මෙම වෘත්තීය සංගමය මැදිහත් වූ අතර, ඉන් මාස දෙකකට පසු දෙවන දූෂිත නිලධාරියා ද මෙලෙස රැකගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ගුවන් සමාගම් කාර්ය මණ්ඩලයේ දැඩි විරෝධයක් මතුව තිබේ.
අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, IT අංශ කළමනාකාර නියෝමාල් ජයවර්ධන නමැති නිලධාරියා විසින් Digix Medicash App, Desktop Support Solution Cloud System, Face & Fingerprint යන්ත්‍ර, SARA Application සහ විවිධ මෘදුකාංග මිලදී ගැනීමේදී මුලින්ම අධික කොමිස් මුදල් ලබාගෙන ඇති අතර, ඊට අමතරව මාසිකව ද තමන්ගේ ගිණුමට කොමිස් මුදල් ලැබෙන පරිදි මෙම දූෂිත ගනුදෙනු සිදු කර තිබේ. මෙම වංචාවන් හෙළිවීමත් සමඟ 2026 ජූලි 14 වන දින සිය වරද පිළිගනිමින් ස්වේච්ඡාවෙන්ම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී, ජූලි 15 වන දින සියලු නිෂ්කාශන අවසන් කර විදේශගත වීමට ඔහු උත්සාහ කර ඇත.
කෙසේ වුවද, අන්තර් සමාගම් සේවක සංගමයේ මැදිහත්වීම මත පසුගිය ජූලි 31 වන දින මොහුට එරෙහිව තිබූ සියලු විනය චෝදනා ඉවත් කර නැවත සේවයේ පිහිටුවීමට පාලනාධිකාරියට බලපෑම් කර තිබේ. එමෙන්ම, 2026 අගෝස්තු 03 වන දින ශ්‍රීලංකන් මානව සම්පත් කළමනාකාරීත්වය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත ගෙන්වා, අදාළ දූෂිත නිලධාරියා නැවත සේවයේ පිහිටුවන ලෙස විෂය භාර අමාත්‍යවරයා සහ අන්තර් සමාගම් සේවක සංගමයේ ක්‍රියාකාරීන් විසින් අනීතික ලෙස දැඩි බලපෑමක් එල්ල කර ඇත. ජාතික ගුවන් සේවයේ 47 වසරක ඉතිහාසය තුළ දූෂිතයන් ආරක්ෂා කිරීමට මෙලෙස රාජ්‍ය යන්ත්‍රණය යොදවාගත් පළමු අවස්ථාව මෙය බව ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය, පවසයි.














