ශ්‍රී ලංකාවේ පවතින මිනිරන් සම්පත් උපයෝගී කර ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ කර්මාන්ත පාර්ශ්වකරුවන් සමඟ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම කෙරෙහි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අවධානය යොමු කර තිබේ.මෙහි කොටසක් ලෙස, ලොව ප්රමුඛ පෙළේ ස්වභාවික මිනිරන් (vein graphite) නිෂ්පාදකයෙකු වන බෝගල මිනිරන් ලංකා ආයතනයේ මිනිරන් කැණීම් සහ සැකසුම් මෙහෙයුම් නිරීක්ෂණය කිරීම සඳහා EDB නිලධාරීන් පසුගියදා ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ. මෙම සංචාරයේදී භූගත කැණීම්, සැකසීම, ශ්‍රේණිගත කිරීම සහ අපනයනය සඳහා සූදානම් කිරීම දක්වා මිනිරන් අගය දාමය පිළිබඳ සෘජු අවබෝධයක් ලබා ගැනීමට නිලධාරීන්ට හැකි විය.ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සමඟද සමපාත වන මෙම වැඩපිළිවෙළ යටතේ, ස්වභාවික ස්ඵටිකමය vein graphite වාණිජ මට්ටමින් නිෂ්පාදනය කරන ලොව එකම රට වන ශ්‍රී ලංකාව, උසස් කාර්මික යෙදුම් සහ නැගී එන ග්‍රැෆීන් තාක්ෂණයන් සඳහා ගෝලීය සැපයුම්කරුවෙකු ලෙස ස්ථානගත කිරීම අපේක්ෂා කෙරේ.
















